Showing posts with label ලියුං කියුං. Show all posts
Showing posts with label ලියුං කියුං. Show all posts

Thursday, June 11, 2020

අමුඩයේ බලය

මෙතෙක් කලක් හඳුනාගත් හෝ හඳුනා නොගත්, මඟ හැරුණු හෝ මඟ නොහැරුණු, උන්ගේ සහ අපේ වෙනස මෙසේය. අවසන විනිෂ්චය සහ විසඳුම ඔබ සතුය.

වසර 70ක් පුරාවට ජාතික ඇඳුම ඇන්දේ උන් ය. යන්තමට විලි වහගත්තේ අපය. දණින් වැටී දොරක් දොරක් ගානේ ගියේ උන් ය. මහානුකම්පාවෙන් උන්ගේ හිස අතගෑවේ අපය. කශේරුකාව නවාගෙන බලය ඉල්ලුවේ උන් ය. උන්ගේ කශේරුකාව කෙලින්කර හතරට පහට නැමුණේ අපය.

චීන සූකරයන් සේ් තරව කුස් ඉදිරියට නෙරා ආවේ උන්ගේය. දර ඉපල් සේ කෘෂව බඩ පොත්තත් පිට පොත්තත් එකිනෙක දැවටුනේ අපගේය. දහස් ගණන් මිලට දිලිසෙනා අකුරු ඇහින්දේ උන්ගේ දරුවන් ය. වේලක් නොකා වේලක් කමින් ඇහිඳිනා අකුරටත් විලංගු වැටුණේ අපේ දරුවන්ටය. කිවිසුමක් ගිය ද ක්වීන් එලිසබෙත් එකෙන් බෙහෙත් ගන්නේ උන් ය. මරණාසන්න වුවද රෝහල් පෝලිමේ ඉන්නේ අපය. උසි උසි කියන්නේ උන් ය. මරාගන්නේ අපය. පුපුරවන්නේ උන් ය. පිපිරෙන්නේ අපය. මරවන්නේ උන් ය. මැරෙන්නේ අපය. සල්ලි කඳු උන්ටය. මිනී කඳු අපටය. සිනහ උන්ටය. කඳුළු අපටය.

රට පුරා බඩ පිනුම් ගැහුවේ උන් ය. වකුටු වී උන්නේ අපය. රටක අනාගතයක් කනපිට ගසා ඉන් මතු නොනැවතී සුදෝසුදු සරම් හැඳ ඔලුවෙන් හිටගත්තේ උන් ය. ඉන් විවර වන නිරුවත අමුඩ අන්දවා උන්ගේ විලි වැහුවේ අපය.

මෙතෙක් අප ඇන්දවූ අමුඩයෙන් විලි වසාගෙන මේ රටට මරණ පමණක් උරුම කර දුන්නේ උන් ය.

එකී අමුඩය ගලවා සැඟවූ සත්‍ය දැකීමේ වරම ඇත්තේ ද අපටය.

එසේ නම් අමුඩයේ බලය වටහාගනිමු!
ජය...!

MDN

2019 මැයි 13 ලියන ලද්දකි



මැරුණෙ කවුද? මැරුවෙ කවුද?

මාතර පිහි ඇනුම සිදුවී හමාරය. දැන් මැරුණෙ කවුද සහ මැරුවෙ කවුද යන්න මතුපිටින් සොයා බැලීම අර්ථ විරහිතය. මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්ති විකාශනයන් වල ලැව් ගින්නක් සේ පැතිරී යන මොහොතක, එම සිද්ධිය ඇතැම් පේජ්කරුවන්ගේ ඇතුළු මේ රටේ ජනතාවගේ සතියේ වින්දනය එහෙමත් නැතිනම් ආතල් එක සපයන මාතෘකාව වන මොහොතක ඒ හරහා අවබෝධ කරගැනීමට අවැසි කාරණය කුමක් දැයි සමාජය තුළ කතාබහක් අප ඇති කරගත යුතුය.

සමාජයේ සත්‍ය වසාලන ෆැන්ටසිගත තිරපටය මත සතිපතා තිරගත කෙරෙන චිත්‍රපට මාලාවේ එක් කොටසක් ලෙස "මාතර පිහි ඇනුම" මේ වන විට කුණු ගඳ ගසමින් තිරගත වෙයි. එපමණක් නොව ඊට සම්බන්ධ ඇතැම් පාර්ශවවලට මරණ දණ්ඩනය සමහර සමාජ ජාලා තුළ ඇති ජනතා අධිකරණවල ලබාදෙද්දී, චන්ද විමසීම් සිදුවෙද්දී, සැබැවින්ම එම ජනතා අධිකරණ හෝ චන්ද කුමකටද, කුමක් සඳහා භාවිතා කළ යුතුද යන්න පිළිබඳ ව සාකච්ඡාවට ගත යුතුය.

මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න මොනවාද? ඒ සඳහා කුමක් කළ යුතුද? යන්න සම්බන්ධව අවබෝධයක් නැත. රටේ ආර්ථිකය පරිහාණියට පත්වීම, කාලානුරූපව ජනවාර්ගික ගැටුම් ඉස්මතු වීම, අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු තමන්ට හිමි විය යුතු සියලුම අයිතිවාසිකම් අහිමිවීම, මිනිස්කම යනු කුමක්දැයි මිනිසුන්ට අමතක වීම, සමස්ත සමාජ ක්‍රමය තුළ පවතින අර්බුදය ඇතුළු ගැටලුකාරී තැන්වලට තවමත් නිසි විසඳුමක් ලැබුණේ නැත. පෙර කී ජනතා අධිකරණ එසේත් නැතිනම් පරමාධිපත්‍යය බලය මෙම ගැටලු ඉදිරියේ නිහඬ වී අක්‍රිය වී පැවතීම අප නැවත නැවතත් සාකච්ඡාවට ගත යුතු කරුණකි. මන්දයත් රටේ නීති සම්පාදනය කරන, මේ රටේ මිලියන විස්සක් වූ ජනතාවගේ හෙට දවස පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා ව්‍යවස්ථාදායකය වෙත එසේත් නැත්නම් පාර්ලිමේන්තුව වෙත යවන ජනතා පුත්‍රයන්ගේ කල් ක්‍රියාවෙන් එය මොනවට පසක් වෙයි.

තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මෙකී ජනතා පුත්‍රයන් මේ දිනවල රඟ දක්වන නිරුවත් නිර්ලජ්ජිත රංගනය පසුගිය දිනවල රටේම ආතල් එක වී තිබුණි. අධ්‍යාපනය, සෞඛ්‍ය පමණක් නොව මිනිසුන්ගේ ජීවත් වීමට ඇති අයිතිය පවා ඇතැම් යුගවල අහිමි වෙද්දී උත්තරීතර යැයි සම්මත ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තුළ බටර් නයිෆ් වලින් කඩු සටන් කළ, මයික්‍රෆෝන කඩා විසිකළ, පොත්වලින් සහ මිරිස් කුඩුවලින් ගහගත් ජනතා පුත්‍රයෙකු සොයා ගන්නටවත් හිටියේ නැත. මුදල් සහ බලය වෙනුවෙන් ආණ්ඩු බලය ලබාගැනීම සහ සෘජු හෝ වක්‍රාකාරයෙන් ඒවාට මුක්කු ගැසීම හැරෙන්නට ඔවුන් කළ දෙයක් නැත. යටත් විජිත පාලන සමයේ අග භාගයේ ඇරඹුණු පූර්ව ස්වාධීනතා යුගය තුළ 1910 දී හඳුන්වා දුන් කෲව් - මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල සිට මෙරට ජනතාවට චන්ද අයිතිය හිමි වූවද එතැන් පටන් මේ දක්වා ගත වූ වසර 108ක කාලය තුළ එකී අයිතිය වඳුරාට හසු වූ දැළි පිහිය සේ විය. ඉන් රටට වූ සෙතක් නැත.

වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළද, මාධ්‍ය හරහා විකාශනය වන සූකිරි බටිල්ලන්ගේ සුරංගනා කතා වැනි ටෙලි නාට්‍ය ඇතුළු මාධ්‍ය ජාලායන්හී සමස්ත ක්‍රියා කලාපය තුළද, ඇතැම් සුප්‍රකට හෝ අප්‍රකට ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපය තුළද පවතින්නේ මෙකී අර්බුදයයි. ඉහත සඳහන් බලපෑම් සහගත පුද්ගලයන්ගේ හෝ ව්‍යුහයන්වල න්‍යාය පත්‍ර තීරණය කළේද, කරමින් සිටින්නේද, ඉදිරියටත් කරන්නේද, ජනතා අධිකරණ තුළ නිර්දෝෂි චරිත වන පෙර කී ජනතා පුත්‍රයන්ය. ඒ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නම් නොවන බව නිසැකය.

මෙතෙක් කලක් මරණයන් ම පමණක් උරුම කර දුන් මෙවන් රටක සමාජයක එම මරණ වෙනුවෙන් හඬා වැළපීම සහ ඊට අදාළ වැරදිකරුවන් තීරණය කිරීමට වඩා දීර්ඝකාලීන කාර්‍යභාරයක් අප ඉදිරියේ ඇත. එසේ නොවන්නේ නම් මෙයද සමස්ත සමාජයම විසින් යුගයෙන් යුගයට සිදුකළ සියදිවි නසා ගැනීම් ගොන්නට එක් වනු නොඅනුමානය.

එසේනම් මැරුණෙ කවුද ? මැරුවෙ කවුද?
තීරණය ඔබ සතුයි!

MDN

2018න‌ොවැම්බර් 25 දින ලියන ලද්දකි






Malith Dilusha Nanayakkara

ඇත්තට ම දිනුවෙ කවුද?

දැන් සියල්ල සිදුවී හමාරය. තවත් එක් මැතිවරණයක් අවසන් වී ඇත. රටේ පවතින නීතියට අනුව ජන මතයට හිස නැවීමට සිදුවේ. නමුත් නැවත නැවතත් සිහිපත් කළ යුතු ම දෑ බොහෝය. මන්ද යත් මැතිවරණ සමයේදී ජනතාව අත්යන්තයෙන් ම ෆැන්ටසි ලෝක තුළ තනිවන නිසාය.
2018 පළාත් පාලන මැතිවරණය හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් වත්මන් එජාප ආණ්ඩු රැල්ලෙන් මතුව ආ ශ්රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) ජය අත්කරමින් අවසන් විය. කැපී පෙනෙන කාරණාව නම් 2015දී සමාජ ජාලා තුළින් හට ගත් රැල්ලක් ඔස්සේ බලයට පැමිණි රනිල් - මෛත්රී පාර්ශ්වයන් සැළකිය යුතු පසුබෑමක් පෙන්වීමත්, නවමු මුහුණුවරකින් මෙවර මැතිවරණයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණ සමස්තයක් ලෙස යම් ප්රගතියක් පෙන්වීමත් ය.
නමුත් අප විසින් අවබෝධ කරගත යුතු කරුණ නම් මෙම මැතිවරණයට අනුව ජය ගත්තේ හෝ පරාජයට පත්වූයේ මහින්ද, රනිල්, මෛත්රී, අනුර කුමාර හෝ කවරෙකු වුවත්, සැබැවින්ම ජයගන්නේ හෝ පරාජයට පත්වන්නේ කවුරුන් ද යන්නයි. මෙරට මැතිවරණ ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී එය මනාව පැහැදිලි වේ. තමාට ඇති සැබෑ ගැටලු අමතක කර දමා පන් මලු අතට ගන්නා පූර්ව මැතිවරණ සමයකට සහ එකී ගැටලු මල්ලෙන් එළියට පැන්න පසු විඳවන පශ්චාත් මැතිවරණ සමයකට අතීතයේ පටන්ම මෙරට ජනතාව ඉතා සාඩම්බරයෙන් උරුමකම් කියති.
ස්ව භාෂා පනත ක්රියාත්මක කිරීම සහ එය ඔඩු දුවමින් තිබූ ජාතිවාදී අරගලයකට රුකුලක් වීම, 71 සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහි තරුණ නැගිටීම, 1987-1989 එජාප ආණ්ඩුවට එරෙහි තරුණ නැගිටීම, එකී අරගල එවකට බලයේ සිටි ආණ්ඩු සිය මර්දන උපකරණ භාවිතා කොට මැඩ පැවැත්වීම හා ඉන් මෙරට තරුණ ජීවිත දහස් ගණනින් විනාශවීම, තිස් වසරක් තිස්සේ මෙරට පැවැති යුද්ධය හා ඉන් මෙරට අහිංසක ජීවිත දහස් ගණනින් විනාශවීම, මෙරට දිගු කාලීනව පැවත මැතිවරණ කාලසීමාවේදී ජනතාවට අමතකවීම නිසා මතු වූ දැවැන්ත ව්යසනයන් ය. මෙකී ගැටලුවලට විසඳුම් සෙවිය යුත්තේ ද ජනතාවය. ඊට අවැසි බලය පවතින්නේ ද ඔවුන්ටය. නමුත් පෙරකී ලෙස අමතකවීමේ රෝගය ඊට තදින්ම බලපා ඇත.
78දී විවෘත ආර්ථික ක්රමය හඳුන්වා දීමත් සමඟ කරලියට පැමිණි පෞද්ගලීකරණ ප්රතිපත්තියට අනුව යමින් මෙරට ජනතාවට නොමිලේ හිමිවිය යුතු අධ්යාපනය, සෞඛ්ය ඇතුළු සේවාවන් මුදලට විකිණීමේ වැඩපිළිවෙළට ඉහත සඳහන් පොහොට්ටු, අලි, බුලත් කොළ, අත්, සීනු ලෙස නොව පොදු කුලකයක් ලෙසින් විවිධ අයුරින් සහය පළ කිරීමට මෙරට මැතිවරණ ඉතිහාසය මොනවට සාක්ෂි දරයි. මාළඹේ SAITM වැනි පෞද්ගලික අධ්යාපන ආයතන හරහා වෛද්ය උපාධිය මුදලට විකිණෙද්දී, එදා වේල උපයාගෙන ජීවත් වන දුප්පත් අසරණ අම්මා තාත්තගේ දුවට පුතාට වෛද්යවරයෙකු වීමේ සුබ සිහින උදාකර ගැනීමේ අවස්ථාව ලබාදීමට තිබූ සබරගමුව, වයඹ සරසවිවල වෛද්ය පීඨ තවමත් ප්රමාද වෙද්දී මේ දේශපාලඥයන් වචනයක් හෝ කතාකළේ නැත. තම පාසල් අධ්යාපන අයිතිය අහිමි දරුවන් 50000කට වඩා සිටිද්දී, පාසල් පෙළ පොත් සේල් වෙද්දී, නිල ඇඳුම් වවුචර් ගතවෙද්දී, දෙමාපියන්ට තම දරුවන් ද සමඟ ගඟේ මුහුදේ පනින්න වෙද්දී මේ කියන දේශමාමකයෝ වගේ වගක් නැතිව සිටියහ. උදේ පාන්දරම ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ පෝලිමේ පැය ගණනක් හිඳ තමාට අවැසි ඖෂධ නොමැතිව පෞද්ගලික ඔසුසල් වෙත යොමුවන්නට සිදුවෙද්දී, හෘද රෝග වැනි දරුණු රෝග සඳහා සැත්කම් සිදුකර ගැනීමට අවුරුදු ගණන් මාස ගණන් පොරොත්තු ලේඛණවල හිඳ තම වාරය පැමිණෙන විටත් මියයාමට මිනිස්සුන්ට සිදුවෙද්දී රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමට දත කන ජනතා පුත්රයන්ට වගේ වගක් නැත.
එසේ නම් මේ එළඹ ඇත්තේ ෆැන්ටසි ගතවී සිටිය යුතු කාලයක් නොව, මහ පොළොවට බැසිය යුතු කාල සීමාවකි. ජනතාව සමාජයේ තමාට ඇති සැබෑ ගැටලු අවබෝධ කරගෙන ඊට එරෙහිව තම මතයෙන් හෝ (ඡන්දයෙන්) නැගී සිටිය යුතු, නිවැරැදි ලෙස ජනතා පරමාධිපත්යය බලය තහවුරු කළ යුතු කාල සීමාවකි.
එසේ නම් අවසානයේ කීමට ඇත්තේ මෙපමණකි. සියල්ල සිදුවී හමාරය. ගොඩනැගිය යුත්තේ නැවතුමේ සිටය.
ඔබ සැමට සුවදායී පශ්චාත් මැතිවරණ සමයක් වේවා....!!!

MDN

2018 ප‌ෙබරවාරි 11 දින ලියන ලද්දකි
(2018 පළාත් පාලන මැතිවරණයට පසු විපරමකි)