Sunday, May 2, 2021

නමක් නොමැති විහාර මහා දේවී

ඔද තෙද ඇති කැළණිතිස්ස

කනේ කඩුක්කම පැළඳුව

සළුව ගසා ගෙන කැහැපට

පාලම යට මහරජ වුණ

 

තෙල් කඳුළක් ගෙයි නැති සඳ

පැන්න දිනක තද රතු ඉර

කිණිසි පාර හත අට ඇන

කොටු පැන ගිය බිසව මැරුව

 

රිදෙන්නත් කලිං යටිබඩ

කැළණිතිස්සගේ බඩ යට

ගොඩට එන්න පෙර කරදිය

මහා දේවි වුණ කුමරිය

 

බිසව නොමැති ලෑලි මැදුර

අග බිසවක් වුණා නිතර

මව් බිසවක් වන බව දැන

මුඩු බිමකට පිටමං කළ

 

දුර්භික්ෂය පැමිණුන කළ

ගැට අන්නසි කෑ දේවිය

අලුත් වැස්ස වහිනු සිතන

තිස්ස ගැමුණු කළල වැදුව

 

අතීතයම වළලමු කියු

කාවන්තිස්ස ට පෙම් බැඳ

හුස්ම නොගත් අනාගතය

පස් කැටි අතුරා හැංගුව

 

සුදු නැෂනල් ඇන්ද තිස්ස

මිශ්‍ර වුණා දැයි නො සෙව්ව

ළඳුනගෙ දුක දකින කළට

හෙළ ද සොළී දැයි නො සෙව්ව

 

එක රජෙකුට නොම නැවතුන

දහසක් දෙනෙකුගෙ දේවිය

රන් මසු මිට මොලවන විට

කාවන්තිස්සට පින් දෙන

 

මව් බිසවක් නොවනු පිණිස

අවුසද හැම දින වැළඳුව

නමුදු ගතම වැහැරී යන

රෝ දුක් පසු කල වැළඳිණ

 

රෝ දුක් ගත වෙළුණු පසුව

බිසවට වුව අගයක් නැත

තුම් කාවන්තිස්ස අණට

රජ මැදුරෙන් දොට්ට දැමිණ 

 

නැවතත් මුඩු බිමට වැටුණ 

ගතේ වාරු නැති දේවිය

හිතේ තිබුණු ගිනි කන්දක

ගිනියම් කඩු කිණිසි උපන

 

තිස්සල ලද කැපුම් ගණන

හත අට, දහ දොළහක් විය

උන් හිස කඳ දෙක වෙන් විය

රහසඟ කඩු තුඩ පැටලිණ

 

මුල කුණු වුණ සංහතියක

එවන් ළඳුන් තව බිහිවිය

පුරුෂ ලිංග ඉතිහාසය

උන් පස් කඳු යට සැඟවිය


MDN


ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි.


2020 මැයි 27 ලියන ලද්දකි.





No comments:

Post a Comment