මාතර පිහි ඇනුම සිදුවී හමාරය. දැන් මැරුණෙ කවුද සහ මැරුවෙ කවුද යන්න මතුපිටින් සොයා බැලීම අර්ථ විරහිතය. මෙම සිද්ධිය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්ති විකාශනයන් වල ලැව් ගින්නක් සේ පැතිරී යන මොහොතක, එම සිද්ධිය ඇතැම් පේජ්කරුවන්ගේ ඇතුළු මේ රටේ ජනතාවගේ සතියේ වින්දනය එහෙමත් නැතිනම් ආතල් එක සපයන මාතෘකාව වන මොහොතක ඒ හරහා අවබෝධ කරගැනීමට අවැසි කාරණය කුමක් දැයි සමාජය තුළ කතාබහක් අප ඇති කරගත යුතුය.
සමාජයේ සත්‍ය වසාලන ෆැන්ටසිගත තිරපටය මත සතිපතා තිරගත කෙරෙන චිත්‍රපට මාලාවේ එක් කොටසක් ලෙස "මාතර පිහි ඇනුම" මේ වන විට කුණු ගඳ ගසමින් තිරගත වෙයි. එපමණක් නොව ඊට සම්බන්ධ ඇතැම් පාර්ශවවලට මරණ දණ්ඩනය සමහර සමාජ ජාලා තුළ ඇති ජනතා අධිකරණවල ලබාදෙද්දී, චන්ද විමසීම් සිදුවෙද්දී, සැබැවින්ම එම ජනතා අධිකරණ හෝ චන්ද කුමකටද, කුමක් සඳහා භාවිතා කළ යුතුද යන්න පිළිබඳ ව සාකච්ඡාවට ගත යුතුය.
මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න මොනවාද? ඒ සඳහා කුමක් කළ යුතුද? යන්න සම්බන්ධව අවබෝධයක් නැත. රටේ ආර්ථිකය පරිහාණියට පත්වීම, කාලානුරූපව ජනවාර්ගික ගැටුම් ඉස්මතු වීම, අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු තමන්ට හිමි විය යුතු සියලුම අයිතිවාසිකම් අහිමිවීම, මිනිස්කම යනු කුමක්දැයි මිනිසුන්ට අමතක වීම, සමස්ත සමාජ ක්‍රමය තුළ පවතින අර්බුදය ඇතුළු ගැටලුකාරී තැන්වලට තවමත් නිසි විසඳුමක් ලැබුණේ නැත. පෙර කී ජනතා අධිකරණ එසේත් නැතිනම් පරමාධිපත්‍යය බලය මෙම ගැටලු ඉදිරියේ නිහඬ වී අක්‍රිය වී පැවතීම අප නැවත නැවතත් සාකච්ඡාවට ගත යුතු කරුණකි. මන්දයත් රටේ නීති සම්පාදනය කරන, මේ රටේ මිලියන විස්සක් වූ ජනතාවගේ හෙට දවස පිළිබඳ ව තීන්දු තීරණ ගන්නා ව්‍යවස්ථාදායකය වෙත එසේත් නැත්නම් පාර්ලිමේන්තුව වෙත යවන ජනතා පුත්‍රයන්ගේ කල් ක්‍රියාවෙන් එය මොනවට පසක් වෙයි.
තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මෙකී ජනතා පුත්‍රයන් මේ දිනවල රඟ දක්වන නිරුවත් නිර්ලජ්ජිත රංගනය පසුගිය දිනවල රටේම ආතල් එක වී තිබුණි. අධ්‍යාපනය, සෞඛ්‍ය පමණක් නොව මිනිසුන්ගේ ජීවත් වීමට ඇති අයිතිය පවා ඇතැම් යුගවල අහිමි වෙද්දී උත්තරීතර යැයි සම්මත ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තුළ බටර් නයිෆ් වලින් කඩු සටන් කළ, මයික්‍රෆෝන කඩා විසිකළ, පොත්වලින් සහ මිරිස් කුඩුවලින් ගහගත් ජනතා පුත්‍රයෙකු සොයා ගන්නටවත් හිටියේ නැත. මුදල් සහ බලය වෙනුවෙන් ආණ්ඩු බලය ලබාගැනීම සහ සෘජු හෝ වක්‍රාකාරයෙන් ඒවාට මුක්කු ගැසීම හැරෙන්නට ඔවුන් කළ දෙයක් නැත. යටත් විජිත පාලන සමයේ අග භාගයේ ඇරඹුණු පූර්ව ස්වාධීනතා යුගය තුළ 1910 දී හඳුන්වා දුන් කෲව් - මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණවල සිට මෙරට ජනතාවට චන්ද අයිතිය හිමි වූවද එතැන් පටන් මේ දක්වා ගත වූ වසර 108ක කාලය තුළ එකී අයිතිය වඳුරාට හසු වූ දැළි පිහිය සේ විය. ඉන් රටට වූ සෙතක් නැත.
වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළද, මාධ්‍ය හරහා විකාශනය වන සූකිරි බටිල්ලන්ගේ සුරංගනා කතා වැනි ටෙලි නාට්‍ය ඇතුළු මාධ්‍ය ජාලායන්හී සමස්ත ක්‍රියා කලාපය තුළද, ඇතැම් සුප්‍රකට හෝ අප්‍රකට ආගමික නායකයන්ගේ ක්‍රියාකලාපය තුළද පවතින්නේ මෙකී අර්බුදයයි. ඉහත සඳහන් බලපෑම් සහගත පුද්ගලයන්ගේ හෝ ව්‍යුහයන්වල න්‍යාය පත්‍ර තීරණය කළේද, කරමින් සිටින්නේද, ඉදිරියටත් කරන්නේද, ජනතා අධිකරණ තුළ නිර්දෝෂි චරිත වන පෙර කී ජනතා පුත්‍රයන්ය. ඒ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නම් නොවන බව නිසැකය.
මෙතෙක් කලක් මරණයන් ම පමණක් උරුම කර දුන් මෙවන් රටක සමාජයක එම මරණ වෙනුවෙන් හඬා වැළපීම සහ ඊට අදාළ වැරදිකරුවන් තීරණය කිරීමට වඩා දීර්ඝකාලීන කාර්‍යභාරයක් අප ඉදිරියේ ඇත. එසේ නොවන්නේ නම් මෙයද සමස්ත සමාජයම විසින් යුගයෙන් යුගයට සිදුකළ සියදිවි නසා ගැනීම් ගොන්නට එක් වනු නොඅනුමානය.
එසේනම් මැරුණෙ කවුද ? මැරුවෙ කවුද?
තීරණය ඔබ සතුයි!
MDN
2018නොවැම්බර් 25 දින ලියන ලද්දකි
Malith Dilusha Nanayakkara
No comments:
Post a Comment