Sunday, May 2, 2021

ඒක සැනිටයිසරීය ප්‍රේමයක්

 දන්නවද කාජල්,

මේක මහ ආත්මාර්ථකාමී ලෙඩක්

ඔයා නොදන්නව උනාට

බොහෝ වෛරසීය හැන්දෑවල

ආසාදනය උනා හොඳටම !

" කොහෙ දැනෙන්නද අපිට?"

ඒ තරමට ම වැඩ !

 

අපේ ආදරේපල්ලා !

ඒ ලෙඩේ තිබුණෙම,

කැලේ කඳ නැති මුල්වල

ඈත හිම නැති කඳුවල

සොහොන් තනනා වෙඩිවල

හැල්මෙ දුවනා හිත්වල !

 

ඉතිං,

හිතාගන්නට ඉඩක් නැතුවම,

ලෙඩේ පැතිරී ගියා දිගටම !

 

මැරිල හිටියා පාළු පාරක

ලෙඩේ තිබුණැයි සැකැ'ති කවියෙක්

සාක්කුව හිල් කරල තිබුණා

බෙහෙත් ලෙස දුන් උණ්ඩ දෙකකුත්

ඔහුගේ අත්ලේ රැඳී තිබුණා

කවි දෙකක් එතු පුංචි කොළයක් !

 

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 

ළඟදි දවසක ජොගිං යන'තර

හුස්ම ටික ටික හිර උනා මට

ආපු පාරෙම හැරිල බැලුවම

දුටුවෙ මව්බිම කසළ ගිරි හිස

 

'කඳු පාමුල වැපිරු විස ඇට

පෑගුනෝතින් කෑලි වෙයි ඇඟ

අයින් කර කර ගියා පමණය

නැවත සරු ඇට වැපිරුවේ නැත

 

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

 

වැඩිය කවුරුත් නොදැන හිටියට

ඔය ලෙඩේට තිබුණේ

සියවස් ගණනක්

පදම් කරපු

එකම එක බෙහෙතයි

 

ඒක සැනිටයිසරීය ප්‍රේමයක් !

 

බෙහෙත උඹ ළඟ තියෙනවා නම්

මටත් දීපං ටිකක් ඕකෙන්

මේ ආත්මාර්ථකාමී ලෙඩෙන් මිදෙන්න

 

ප්‍රේමයෙන් බලන්න

වෛරසීය හැඟුම් නසන්න

මාස්ක් දාගෙන එන්න

හදවත පමණක් ම සිඹින්න !

 

පරිස්සමට ඉන්න !

නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න !

 

හොඳින් හුස්මක් ගන්න

ප්‍රේමයම ළය තුළට ගන්න

හූනෙකුටවත් බිය නොවන්න

සොඳුර, සැනිටරි පෙම විඳින්න

 

ආදරෙයි!

මම ශාරුක්.

MDN

2020 මාර්තු 28 ලියන ලද්දකි.



නමක් නොමැති විහාර මහා දේවී

ඔද තෙද ඇති කැළණිතිස්ස

කනේ කඩුක්කම පැළඳුව

සළුව ගසා ගෙන කැහැපට

පාලම යට මහරජ වුණ

 

තෙල් කඳුළක් ගෙයි නැති සඳ

පැන්න දිනක තද රතු ඉර

කිණිසි පාර හත අට ඇන

කොටු පැන ගිය බිසව මැරුව

 

රිදෙන්නත් කලිං යටිබඩ

කැළණිතිස්සගේ බඩ යට

ගොඩට එන්න පෙර කරදිය

මහා දේවි වුණ කුමරිය

 

බිසව නොමැති ලෑලි මැදුර

අග බිසවක් වුණා නිතර

මව් බිසවක් වන බව දැන

මුඩු බිමකට පිටමං කළ

 

දුර්භික්ෂය පැමිණුන කළ

ගැට අන්නසි කෑ දේවිය

අලුත් වැස්ස වහිනු සිතන

තිස්ස ගැමුණු කළල වැදුව

 

අතීතයම වළලමු කියු

කාවන්තිස්ස ට පෙම් බැඳ

හුස්ම නොගත් අනාගතය

පස් කැටි අතුරා හැංගුව

 

සුදු නැෂනල් ඇන්ද තිස්ස

මිශ්‍ර වුණා දැයි නො සෙව්ව

ළඳුනගෙ දුක දකින කළට

හෙළ ද සොළී දැයි නො සෙව්ව

 

එක රජෙකුට නොම නැවතුන

දහසක් දෙනෙකුගෙ දේවිය

රන් මසු මිට මොලවන විට

කාවන්තිස්සට පින් දෙන

 

මව් බිසවක් නොවනු පිණිස

අවුසද හැම දින වැළඳුව

නමුදු ගතම වැහැරී යන

රෝ දුක් පසු කල වැළඳිණ

 

රෝ දුක් ගත වෙළුණු පසුව

බිසවට වුව අගයක් නැත

තුම් කාවන්තිස්ස අණට

රජ මැදුරෙන් දොට්ට දැමිණ 

 

නැවතත් මුඩු බිමට වැටුණ 

ගතේ වාරු නැති දේවිය

හිතේ තිබුණු ගිනි කන්දක

ගිනියම් කඩු කිණිසි උපන

 

තිස්සල ලද කැපුම් ගණන

හත අට, දහ දොළහක් විය

උන් හිස කඳ දෙක වෙන් විය

රහසඟ කඩු තුඩ පැටලිණ

 

මුල කුණු වුණ සංහතියක

එවන් ළඳුන් තව බිහිවිය

පුරුෂ ලිංග ඉතිහාසය

උන් පස් කඳු යට සැඟවිය


MDN


ප්‍රසන්න වීරක්කොඩිගේ සිතුවමකි.


2020 මැයි 27 ලියන ලද්දකි.





බරැති සුසුමන් හෙළමි

කලක් තිස්සේ කර තබා ගත්

මතක පැස හිස් කරමි

එකින් එක ගෙන පරිස්සම් ලෙස 

පැමිණි මඟ අස තබමි

යළිත් නොබලන නමුත් මඳකට

එතන රැඳිලා හිඳිමි 

පාව යන්නට නොදී ඒ මත

බරැති සුසුමන් හෙළමි

MDN

2020 ජුනි 04 ලියන ලද්දකි.