Showing posts with label ලියුං කරදහි. Show all posts
Showing posts with label ලියුං කරදහි. Show all posts

Wednesday, June 10, 2020

දයාබර අකිල මාමා වෙත,

ගිය සඳුදවත් අපිට ඉස්කෝලෙ පටන් ගත්තෙ නැති හින්දා ගෙදරට වෙලා ඉන්න ටිකේ, අපේ අයියා මාමට බැන බැන මේ දවස්වල ඉස්කෝලෙ යන හින්ද මට මේක ලියල එවන්න හිතුනෙ. අයියට ලොකුම තරහ තියෙන්නෙ අපිට ඉස්කෝලෙ පටන් ගන්නෙ නැතුව එයාලට පටන් ගත්ත හින්දා. එයා කියන කතාව තමයි අර හරීන් මාමගෙ අප්පච්චි කියන්න ඇතිලු අයි එස් එකෙන් බෝම්බ ගැහුවොත් ගහන්නෙ හය වසරෙන් පහළ උන්ට විතරයි කියල. ඒකලු අපිට පටන් ගන්න නැතුව ඇත්තෙ. මොනව උනත් මම දන්නවා මාමල අපි ගැන හිතල තමයි එහෙම කළේ කියල. ඇයි ඉතිං මොනවහරි උනොත් ලක්ෂ දෙකක් ද කොහෙද දෙනව කියල මාමා කිව්වනෙ. මං හිතන්නෙ අපේ අප්පච්චි නං ඒකට කැමති වෙයි. මොකද එයා නිතරම අයියට බැන බැන හිටියෙ තෝව හදාගත්තට වඩා හොඳයි කෙහෙල් ගහක් හරි හිටෙව්වනං කියලා.

හුඟක් දවසට ඉස්කෝලෙන් කට්ටි පැනලා මාට්ටුවෙලා ප්රින්සිපල් සර්ගෙනුත් වේවැල් පාර කාලා ගෙදර ඇවිත් අප්පච්චිගෙනුත් වේවැල් පාර කන අපේ අයියා කවදාවත් නැතුව ගිය සඳුදා උදෙන්ම ඉස්කෝලෙ ගියා. ළමයිනුත් අඩු හින්ද ටීචර්ලත් අඩුවෙයි කියල හිතාගෙන. මිනිහගෙ කරුමෙට ළමයින්ට වඩා ටීචර්ල ඇවිල්ල එදා. ඉතිං අයියල කොහේ කට්ටි පනින්නද අකිල මාමෙ ?

මම නං කියන්නෙ පුළුවන් නං අගොස්තු මාසෙ ඉවර වෙනකං හරි මේ නිවාඩුව දුන්නත් කමක් නෑ. මොකද අප්පච්චි කියනව මම අහගෙනයි, ජනාධිපති මාමා ශිෂ්යත්ව විභාගෙ නවත්තනව කිව්වය කියලා. ඒ විතරක් නෙමෙයි ඒ තීරණේ අරං තියෙන්නෙත් අපේ පංතිවලම ඉන්න ළමයින්ගෙන් අහලලු. අනේ ඉතිං කොච්චර දෙයක්ද ඒක. අම්මගෙයි ටීචර්ලගෙයි කන් කරච්චලෙන් බේරිලා ඉන්න පුළුවන් එතකොට. අම්ම නං කියන්නෙ ශිෂ්යත්වෙ හොඳට පාස් උනොත් උඹට ටවුමෙ ලොකු ඉස්කෝලෙකට යන්න පුළුවන් කියලා. ඒත් ඉතිං අපේ ඉස්කෝලෙ ඉස්සරහ " ළඟම පාසල හොඳම පාසල " කියල බෝඩ් එකක් ගහල මාමගෙයි ජනාධිපති මාමාගෙයි විජේකලා නැන්දගෙයි පොටෝ වගේකුත් ගහල තියෙන එකේ වැස්ස දවසට කුඩ ඉහළගෙන පන්තියෙ හිටියත් මං මොකටද වෙන ඉස්කෝලෙකට යන්නෙ. ඒ මොනව උනත් අපේ ඉස්කෝලෙ හොඳම ඉස්කෝලෙ කියල මාමාලම කියන්නෙ බොරුවට නෙමෙයි කියල මං අම්මට කිව්ව දවසක්. එතකොට අම්ම නං කිව්වෙ එහෙ(නං බලං හිටපං උඹලට දෙනව කිව්ව ටැබ් එකද කැබ් එකද මොකද්ද එකත් හෙට අනිද්ද එවයි කියලා. එතකොට තමයි මටත් මතක් උනේ දවසක් ප්රින්සිපල් සරුත් කිව්ව කියල එහෙම කතාවක් මාස ගාණකට කලිං. කොහොමින් කොහොමහරි අපේ අයියල මොනව කියල බැන්නත් මං දන්නව මාමා අපිට ආදරේ විත්තිය.

ලියන්න නං දේවල් ගොඩක් තිබුණත් මේ තියෙන ප්රශ්නත් එක්ක මාමලට ගජරාමෙට වැඩ ඇති. ඒක හින්ද ලොකු ලියුමක් කියවන්න වෙලාවක් නෑ කියල මම දන්නව. අනිත් දවසෙ මොකක් හරි කලබලයක් වෙනවනං කලින් කියන්න කියල හරීන් මාමගෙ අප්පච්චිට කියන්න හොර ගෙඩිය වගේ ඉන්නැතුව. ඒ වගේ ම ජනාධිපති මාමාවයි අර බෝඩ් එකේ පොටෝ එකක ඉන්න විජේකලා නැන්දවයි මතක් කළා කියන්න. එහෙනං මම මෙතනින් නවතින්නං.

මාමට බුදු සරණයි!

මීට,
හේනෙගෙදර ඉස්කෝලෙ
පහේ පංතියේ
සිරිමල්

2019 මැයි 9 දින ලියන ලද්දකි
(පාස්කු ප්‍රහාරය නිසා මතු වූ අර්බුදකාරී කාල වකවානුවට අදාළය)

Monday, June 8, 2020

පුංචි හා පැටියා වෙත,

මං දන්නවා මේ දවස්වල උඹට හරියට වැඩ. මැරතන් එකක් වගේ දුවන දිවිල්ලක් අස්සෙත් උඹට පුළුවන් නං මේ ලියුම කියවපං. මොකද පුංචි කාලෙ හඳ ගැන මතක් කරනකොට උඹවත් මතක් වුණාට, එතනින් පස්සෙ අමතක වෙලා ඉඳපු උඹව මේ දවස්වල නිතරම මතක් වෙනව. ඒ ඇයි කියල උඹ දැනගන්නම ඕන.

කොටින්ම කියනව නං මේ වෙනකොට මේ රටේ වටිනම සතා තමයි උඹ. මොකද කාලෙන් කාලෙට මේ රටේ තැන් තැන්වල පැසව පැසව තියෙන තුවාල කුණුවෙලා ගඳ ගහනකොට රටේ ලොකු පුටුවල තියෙන මහත්තුරුන්ට ඕන වෙනවා ඒකට බෙහෙත් දාන්න....
බෙහෙත්......
මොන පිස්සුද එයාල ඒකට බෙහෙත් දාන්නෙ නෑ කවදාවත්. උඩින් පැලැස්තරයක් දාලා වහනව විතරයි. ඉතිං ඒ වගේ වෙලාවට අර පැලැස්තරේට යටින් තියෙන තුවාලෙ දිග පළල බලන්න, ඒක කොච්චර ගැඹුරකට කුණුවෙලා ද කියල හොයල බලන්න උදව් වෙන්නෙත් උඹ ඔය දුවන දිවිල්ලම තමයි. ඒක අර සුසන්තිකා නෝනා දුවපු දිවිල්ලටත් වඩා වටිනවා වෙලාවකට.

මොනව උනත් අපි දන්නව උඹට කැරට් අල තරං වටින දෙයක් තවත් නෑ කියලා. උඹලට වගේම තමයි අපේ රටේ ලොකු පුටුවල ඉන්න මහත්තුරුන්ටත් කැරට් අල තරං වටින දෙයක් තවත් නෑ. මොකද කියනව නං පහුගිය අවුරුදු 70 ක් තිස්සෙ බිලී පිත්තක කෙළවරේ අමුණපු කැරට් අලයක් දිහා බලාගෙන දුවපු බූරුවො වගේ අපිත් ඒ මහත්තුරුන්ව කරේ තියාගෙන ඒ මහත්තුරු අමුණපු පාට පාට කැරට් අල දිහා බලාගෙන, උඹ දිව්වටත් වඩා සිය දහස් ගුණයක් ලොකු මැරතන් එකක් දිව්වා. උඹ හිතනව ඇති ඇයි එහෙම උනේ කියල. එහෙම උනේ උඹ ඔය කන කැරට් අලයක් තරම්වත් අපේ මිනිස්සුන්ට උන් අර ගහන කතිරෙ කියන එක වටින්නෙ නැති හින්දා.

උඹ හිතනව නං උඹට උඹේ රස්සාව නැතිවෙයි කියලා, බය වෙන්න එපා බං උන් ඉස්සරහටත් ඒ මැරතන් එක දුවනවා. මොකද ඒ ලොකු මහත්තුරු දන්නවා ඒ ඒ කාලෙට අල්ලන්න ඕන කැරට් අලේ මොන පාටද, ඒකෙ සයිස් එක කොයි තරං ලොකුද කියලා. කොහොම උනත් මේ දුවන දිවිල්ල නවත්තන්න පුළුවන් මිනිස්සු හිටියත්, අවුරුදු ගාණක් ගිහිල්ලත් බෙදිල විසිරිලා ඉන්න ඒ මිනිස්සුන්ට තාම මේ පොළොවෙ කැරට් අල බහින හැටි හරියට තේරුම් ගන්න බැරි උන හින්දා උඹට වඩා තාම අපි දුවනවා.

මං දන්නව හා පැටියො උඹට ඕක තේරුම් ගන්න නං හවසට හවසට උඳුපියලිය ඩිංගිත්තක්වත් කන්න වෙන බව අපිට කොච්චර තේරුම් ගන්න බැරි උනත්. ඉතිං එහෙම දවසක් එනකං අපිට සිද්ධ වෙනවා පරණ පුරුදු විදියටම හති දාගෙන දුවන්න. මේ ලියුම කොච්චර දිග්ගැස්සුවත් උඹට කියන්න තියෙන්නෙ කැරට් කකා අපි දුවන දිවිල්ල ගැන තමයි. මොකද ඒක තමයි අපේ ජීවිතවල සමරිය.

ඉතිං මගේ පුංචි හා පැටියෝ අපිට වගේම තමයි, තාම උඹටත් මේ රේස් එක ඉවර නෑ.

ඉතිං නවතින්නැතුව දුවපාං...............

මීට,
සදා ධාවන ශූර සිරි ලංකාවාසී අපි 


2019  මැයි 6 දින ලියන ලද්දකි
(පාස්කු ප්‍රහාරය නිසා මතු වූ අර්බුදකාරී කාල වකවානුවට අදාළය)