මෙතෙක් කලක් හඳුනාගත් හෝ හඳුනා නොගත්, මඟ හැරුණු හෝ මඟ නොහැරුණු, උන්ගේ සහ අපේ වෙනස මෙසේය. අවසන විනිෂ්චය සහ විසඳුම ඔබ සතුය.
වසර 70ක් පුරාවට ජාතික ඇඳුම ඇන්දේ උන් ය. යන්තමට විලි වහගත්තේ අපය. දණින් වැටී දොරක් දොරක් ගානේ ගියේ උන් ය. මහානුකම්පාවෙන් උන්ගේ හිස අතගෑවේ අපය. කශේරුකාව නවාගෙන බලය ඉල්ලුවේ උන් ය. උන්ගේ කශේරුකාව කෙලින්කර හතරට පහට නැමුණේ අපය.
චීන සූකරයන් සේ් තරව කුස් ඉදිරියට නෙරා ආවේ උන්ගේය. දර ඉපල් සේ කෘෂව බඩ පොත්තත් පිට පොත්තත් එකිනෙක දැවටුනේ අපගේය. දහස් ගණන් මිලට දිලිසෙනා අකුරු ඇහින්දේ උන්ගේ දරුවන් ය. වේලක් නොකා වේලක් කමින් ඇහිඳිනා අකුරටත් විලංගු වැටුණේ අපේ දරුවන්ටය. කිවිසුමක් ගිය ද ක්වීන් එලිසබෙත් එකෙන් බෙහෙත් ගන්නේ උන් ය. මරණාසන්න වුවද රෝහල් පෝලිමේ ඉන්නේ අපය. උසි උසි කියන්නේ උන් ය. මරාගන්නේ අපය. පුපුරවන්නේ උන් ය. පිපිරෙන්නේ අපය. මරවන්නේ උන් ය. මැරෙන්නේ අපය. සල්ලි කඳු උන්ටය. මිනී කඳු අපටය. සිනහ උන්ටය. කඳුළු අපටය.
රට පුරා බඩ පිනුම් ගැහුවේ උන් ය. වකුටු වී උන්නේ අපය. රටක අනාගතයක් කනපිට ගසා ඉන් මතු නොනැවතී සුදෝසුදු සරම් හැඳ ඔලුවෙන් හිටගත්තේ උන් ය. ඉන් විවර වන නිරුවත අමුඩ අන්දවා උන්ගේ විලි වැහුවේ අපය.
මෙතෙක් අප ඇන්දවූ අමුඩයෙන් විලි වසාගෙන මේ රටට මරණ පමණක් උරුම කර දුන්නේ උන් ය.
එකී අමුඩය ගලවා සැඟවූ සත්‍ය දැකීමේ වරම ඇත්තේ ද අපටය.
එසේ නම් අමුඩයේ බලය වටහාගනිමු!
ජය...!