Showing posts with label රක්ත විවරණ. Show all posts
Showing posts with label රක්ත විවරණ. Show all posts

Thursday, June 11, 2020

නුඹ ම වේ නම් පමණි.....

නුඹ,
අසංඛ්ය වර්ෂ ගණනක් තිස්සේ
ප්රේමය ප්රේමය ම නොවන්නේ
මන්දැයි පසක් කරන්නීය.
පරස්පරතා අසමානතා අතර
එකඟතා සමානතා සම්මුතීන්
අනන්ත වර නොනැවතී
එළඹෙන බව ද
එසේ වන්නේ
අප'තර ප්රේමය නිසා ම
වන බව ද කියාදුන්නීය.
මිහිමත පතිත
එකදු ලේ බිඳක් වුව
බොල් නොවේ යැයි
සරුවට වැඩී ඒ යැයි
සපත කරන්නීය.
සඳ පෙනෙන අතු පැල තුළ ද
ඇස්බැස්ටෝසීය මහා මාලිග තුළ ද
රුක් මුදුනත සඳලුතල තුළ ද
ප්රේමය සොයාගත්තීය.
සිළිටි ගිනි පුපුර වුව
හිරු පවා දවා හළු කරන්නේ
මතු දිනෙක
නවමු එළියකින්
දිලෙන්නට බැව් දන්නීය.
රනින් කළ හෝඩි පොත්
සම සම ව කැබලි කොට
ගම් දොරක සිප් හළෙක
ලොව නොදුටු දරු කැළට
අකුරු එකිනෙක ගළපා
ප්රේමය නම්
මෙය ම යැයි
ප්රේමයෙන් උගන්වන්නීය.

ආදරිය....
අසංඛ්ය වර්ෂ ගණනක් තිස්සේ
ප්රේමය ම නොවන ප්රේමයෙන්
නිසරු බිම් සරු කර
අස්වද්දන්නට
වෙඩි උණ්ඩ පවා
සවිය දුන් සැටි මතකය.
මේ මල් මිට පවා
බයිනෙත්තු කෙළවරට වීසිකොට
ලොවක් සුවඳ කළ හැකි බව ද
මියෙන්නන් ඉපදී
නැවත නැවතත් එයම
සිදුකරන බව ද දනිමි.

ඉතින්........
නුඹ ප්රේමය ම වන්නේ
සිත්තර කතා පොතක
සුවඳැති පිටු අතර මතු නොව
ගිනි කාෂ්ටක පොළොවක
උපදින 'විප්ලවය',
ප්රේමිය....
නුඹ ම වේ නම් පමණි.....

ආදරෙයි නුඹට.......

MDN

2018 අග‌ෝස්තු 8 දින ලියන ලද්දකි



අල්යෝනා නොහොත් අයිස් බර්ගීය කාර්තුව

හිම තුහිනයක් කියන්නෙම හීනයක්
යළිත් ඇහැරෙනු බැරිව වැළපෙන!
එහෙනම්,
උණුම උණු දහවලක වුව
අයිස් බර්ගයක් ව,
අල්යෝනා උඹ
ඔහොම ඉන්නේ කොහොමද
පීටර්ස්බර්ග් වීදිවල?
එළියට නොපෙන්නුවත්
මොනතරම් දේවල් තියෙනවද,
රතු පාට හිම යට හැංගුන?

වොල්ගාව අසබඩ
දිරාපත් වූ දෑකැතිය.
ගමේ ළඟකදි
ගොයම් කැපුවේ නැතිවද?
ඇස්බැස්ටෝස් පැක්ටරියෙ දෙන
සිලෝන් ටී අද
තවම රතුමද?
ලෙනින් නිදි ඇත!
රතු චතුරස්රෙ නිහඬව
"දාස් කැපිටාල්",
පොත් සල්පිලේ ලාබෙට?

අල්යෝනා නැගිටපං
නිදි ගැට කඩා හනිකට,
කිරි උතුරවා පිළිගනු
ඔක්තෝබරය ළඟ එන!
එතකොට,
කිරි බත් කකා කියතැකි අපට
"මොන තරම් දේවල් තියේද
සොහොයුර, නොස්ටැල්ජියාවෙ ගිල්ලන?"
ඉතිං අල්යෝනා,
මේ අයිස්බර්ගීය කාර්තුවයි.
උඹට හැක උන් හට කියන්නට,
ද්රෝහිකම් ඇති උගුල් විසිකර
සහෝදර කම්මලක් වෙත යමු
දිරාපත් වූ මිතුරු දෑකැති
නැවත සකසා ඵල නෙලාගමු
එකම ගමනක් අපට යන්නට
උදලු ගෙන මාවතක් සකසමු
වමට දකුණට වහල්කම් ඇත
අයිස් බර්ගය ලෙසින් සඟවමු
අල්යෝනා,
අවදි කරපං නිදා උන් හැම
වහල් නැති නව ලොව තනන්නට!
MDN
2018 සැප්තැම්බර් 23 දින ලියන ලද්දකි



සමනලු ලැහැස්තියි ඒ වෙඩි බුදින්නට

පැසයෙන් මිදී සමනලු ලොව බලන විට
වෙඩි ලුණු වැටී තිබුණා මල් පෙති මතට
ලොවටම සුවඳ දෙන්නට මතු පිපි මලට
සමනලු ලැහැස්තියි ඒ වෙඩි බුදින්නට

MDN



අරගලයයි, සිපගන්නට හොඳම තැන

ගෑස් කඳුළ, නෙත'ගින් දුක් ඉවතලන
ජල ප්‍රහාර, මල් වැසි ලෙස ඇදහැලෙන
සොඳුර, කුමට අපහට මල් උයන් වෙන
අරගලයයි, සිපගන්නට හොඳම තැන


MDN


2017 මාර්තු 6 දින ලියන ලද්දකි.




Wednesday, June 10, 2020

රුහිර බිඳු පොළෝ මත පතිත කල අතීතය

රුහිර බිඳු පොළෝ මත
පතිත කල අතීතය
අග සුසුම් වා තලේ
මුහු කෙරූ අතීතය
අද දිනේ අප නමට
උරුම වන අතීතය
ගොඩ නඟමු හෙට දිනක්
සිහි තබා අතීතය

MDN


2017 මැයි 17 දින ලියන ලද්දකි