Showing posts with label වියමන්. Show all posts
Showing posts with label වියමන්. Show all posts

Saturday, June 6, 2020

තීර්ථයන් අසබඩ යාත්‍රිකයන් ය අප !

මිනිස්සු කියන්නෙ ම හරි ම පුදුමාකාර ජාතියක්. උන් තමන්ගෙ ජීවිත කාලෙ පුරාම යාත්රිකයො විදියට තමයි ගතකරන්නෙ. ඒක ඇරඹුම ගැනම විතරක් දැනගෙන අවසානය ගැන හරිහැටි නොදැන යන ගමනක්. ඉතිං ගමන මුලදිම ඔය හැමෝට ම තමන්ටම කියල යාත්රාවක් ලැබෙනවා. තමන්ගෙ යාත්රාවෙ තමන්මයි යාත්රිකයා. වෙන කවුරුත් නෑ ඇත්තටම බැලුවොත්. තමන්ගෙ ගමන දිගටම යනවද, ගොඩබහිනවද, ආපහු හරවනවද, නැත්නම් ගඟට පනිනවද කියන එක තීරණය කරන්නෙත් තමන්මයි.
කොහොම නමුත් මේ ගමනෙ හැමතැනම එක වගේ නෑ. ලස්සන තැන්, දුෂ්කර තැන්, සෞම්ය තැන්, රළු තැන් අවර්ණ තැන් වගේම වෛවර්ණ තැන් පහුකරගෙන යන්න වෙනවා. ගොඩ දෙනෙක් කැමති නිතරම ලස්සන, සෞම්ය තැන්, අවර්ණ තැන්ම හමුවෙනව නම්. ඒත් සමහරු විශ්වාස කරන දෙයක් තමයි ගමන අමතක නොවෙන එකක් වෙන්නෙ ගොඩදෙනක් පතන සුවපහසු වටපිටාව අතරමැද දුෂ්කර, රළු, වෛවර්ණ තැනුත් හමුවෙන්න ඕන කියන එක. ඒවා ඒ ගමනේ සන්ධිස්ථාන.
මේ යන ගමනෙදි මේ යාත්රිකයන්ට ඉහේ කෙස් ගාණට එක එක විදියේ තොටුපොළවල් පහුකරගෙන යන්න වෙනවා. මේවටත් ඇත්තටම සන්ධිස්ථාන කිව්වට වරදක් නෑ.
ඉතිං මෙයින් සමහරු තමන් තීරණය කරපු ගමනාන්තයට ඇවිත් එක තොටුපොළකින් නතරවෙනවා. සමහරුන්ට හිතුවෙවත් නැති තොටුපොළකින් බැහැලා යන්න වෙනවා. අන්තිමට තමන් කැමති තැනකින් බැහැපු උන් කොටස් දෙකකට බෙදෙනවා. හරිම සතුටෙන් ගඟ දිහා බලන් ඉන්න උන් වගේම ගඟේ යන උන් දිහා බලාගෙන දුක්වෙන උන් තමයි ඒ කොටස් දෙක. හිතුවෙවත් නැති තොටුපොළකින් බැහැපු උනුත් අන්තිමේ ඔය කොටස් දෙකට බෙදිලා ගඟ දිහා බලන් ඉන්නවා.
ඒ වගේම තමයි ගඟේ යන උන් අතරෙ තමන් බලාපොරොත්තු වෙන ගමනාන්තයක එහෙමත් නැත්නම් තොටුපොළක බහින්නට බැරිව ඒක පහුකරගෙන යන ඒත් ඒ ගැන සතුටුවෙන එහෙමත් නැත්නම් ආයෙමත් හැරෙන්නට බැරිව දුක්වෙන අය ඕන තරම් ඇති.
එක තොටුපොළක ගොඩබැහැලා ඒකෙම සදහට ම නතරවෙන උන් විතරක් නෙමෙයි මුලින් ගොඩබැහැපු තොටුපොළ අතහැරල තොටුපොළවල් කිහිපයක ගොඩබහින යාත්රිකයොත් ඕන තරම් මේ ගඟ දිගේ ඕනතරම් යනවා. කොහොම නමුත් මේ යාත්රිකයන් අතරෙ ඉන්න අමුතු ම උන් තමයි තමන්ගෙ යාත්රාව අතහැරල ගඟට පනින්න තීරණය කරන උනුයි, කිසිම තොටුපොළක නතර නොවී ගඟ දිගේ යන්න තීරණය කරන උනුයි, ආයෙමත් යාත්රාව හරවගෙන මුලදි පහුකරගෙන ගියපු නැත්නම් අතහැරල ගියපු තොටුපොළකට නැවත එන උනුයි. කවුරු මොනව කිව්වත් ඒව මේ ගමනෙදි එළඹෙන මහ අමාරු තීරණ. ඒ වගේ තීරණ ගන්නෙත් මේ පිරිසෙන් බොහොම ටික දෙනයි. ඒ නිසා ම තමයි ඒ යාත්රිකයො හරි ම විරල සහ අමුතු උන් වෙන්නෙ.
මේ යාත්රික ජීවිතයේදී, ඇරඹුම ගැන විතරක් ම දැනගෙන අවසානය ගැන නොදැන පටන් ගන්න මේ ගමනේ කෙළවර තීරණය කරන එක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. ඒත් හැමෝට ම ඒක අමාරුවෙන් හරි කරන්න සිද්ධවෙනවා. ඕකට ගොඩ දෙනෙක් කියන්නෙ ලෝක ස්වභාවය කියල.
ඉතිං මේ මොහොතේ කාටත් දැනෙන හැඟෙන පොදු ප්රශ්න තමයි මේ යාත්රික ජීවිතයේ දැන් අපි කොතැනද ඉන්නෙ, මොනවද කරන්නෙ කියන දේවල්.
මුලින් කිව්ව වගේම ඒ බැරෑරුම් ප්රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙත් අවසානය තීරණය කරන්න වෙන්නෙත් කවදක හරි අපිටම තමයි. එය වැළැක්විය නොහැකියි.
එසේනම්,
ඔබ කොතැනද ?
යාත්රාවෙද ?
තොටුපොළකද ?
එහෙමත් නැත්නම්,
ගඟේද ?
-MDN-
ප.ලි. :- තීර්ථයන් අසබඩ
යාත්රිකයන් ය අප !

2019 සැප්තැම්බර් 26 දින ලියන ලද්දකි

මාස්කීය ප්‍රේමය නොහොත් අක්ෂි භාෂාව

මනුස්සයෙක්ට තමන්ගෙ සන්තානය එහෙමත් නැත්තං තමන්ගෙ හිත් පොජ්ජෙ පෙරලි කරන හැඟිම් ඒක ඇතුළෙම ගුලි කරල තියාගන්න එක සෑහෙන අමාරු වැඩක්. ඉතිං ඒවා පෙරලියකින් හෝ පෙරලියක් නොවී හෝ කොයි වෙලේක හරි එළියට පනිනව. ඒකට තමයි එක එක ජාතියේ මාධ්ය ප්රකාශකලා අපේ ශරීරයේ ඉන්නෙ. ඉතිං ඒ අතරින් ඇස් දෙකක් කියන්නෙම ප්රබල අව්යාජ හැඟුම් ප්රකාශකයෙක්. අපි වැඩිය ඒවා කියවන්න උත්සහ නොකළත් ඒක මහ අමුතු ජාතියෙ භාෂාවක්. කොච්චර අමුතු ද කිව්වොත් හිත අස්සෙ හැංගිලා තියෙන හැඟීමක් ව්යාජත්වයෙන් හංගන්න ඇස්වලට බෑ. ජීව විද්යාත්මක විදියට හිතක පාලනයට ශරීරයේ තියෙන ප්රකාශයකයන්ට නතු වෙන්න සිද්ධ වුණත් ව්යාජත්වය කියන එක හැම මොහොතකම පෙරා වෙන්කරගන්න පුළුවන් ඇස් දෙකට විතරයි. වචන නැතත් ඇසෙහි බස එහෙමත් නැත්නම් අක්ෂි භාෂාව සියයට සියයක් අවංකයි.
එහෙම වුණත් ඉතා සුලබම මාධ්යය වෙච්ච වචනවලිනුත් අපිට පුළුවන් අපේ හැඟීම් අවංකව ප්රකාශ කරන්න. හැබැයි ඕන කරන වෙලාවට වචන හංගන්නටත්, ඒවට ව්යාජත්වය මුහු කරන්නටත් බැරි නෑ. ඉතිං ඉතිරි වපසරිය ගැන සලකා බලද්දි ඇසුත් අනිච්ඡානුග ප්රතිචාරත් හැරෙන්නට හැම මොහොතකම අව්යාජ වෙන්න අනෙක් ප්රකාශකයන්ට බෑ.
ව්යාජ වුණත් අව්යාජ වුණත් මේ සියලු ප්රකාශනයන් මිනිස්සු විදියට අපි එකිනෙකා අතර ඉතාම කෙටි සබැඳියාවකට පවා බලපානවා. මිනිස්සුන්ට තමන්ගේ ජීවිත කාලය ඇතුළත කොයි තරම් අය මුණ ගැහෙනවද? හඳුනාගන්නවද? කතාබහ කරනවද? උනුන් හා බැඳෙනවද? ඒත් ඉතාම කෙටි නිමේෂයක් වුණත් ඒක කෙනෙකුට විශේෂ වෙන්නෙ ඒ නිමේෂයේදී තමන් ග්රහණය කරගන්න ප්රකාශනය කොයි තරම් අව්යාජ ද, ඒක කොයි තරම් සහෘද ද කියන එක මත. එවැනි ග්රහණයන් අත් නොහැරිය හැකි තරම් දැඩියි. ඇත්තම කිව්වොත් ඒවා එකිනෙකා අතර වෙන ග්රහණගත ගණුදෙනු.

දැන් ඇස්වලින් පටන්ගෙන ග්රහණයක් දක්වා අපි ගහපු වටරවුමෙන් ටිකක් මිදිලා යමු කෙලින් පාරක. මේ මෑතක් වෙනකංම අපි දැක්කෙ මිනිස්සු මාස්ක් පාවිච්චි කරන එක හරි අඩුවෙන්. ගොඩක් වෙලාවට තමන්ගෙ රස්සාවට අදාළ තත්වයකදි හරි මඟ තොටේදි වාහන දුමෙන් බේරෙන්න හරි, වගේ ගොඩක්ම කලාතුරකින් තමයි අපි ඒව පාවිච්චි වෙනව දැක්කෙ. ඒ නිසා ඒක ලොකුවට තැකුවෙ නෑ කවුරුත්. ඉතිං ඒක විශේෂ දෙයක් වුණෙත් නෑ කාටවත්. හැබැයි මේ වෙනකොට අපි ගතකරන වෛරසීය කාල වකවානුවේදී මේ මුඛාවරණය මිනිස්සුන් ඇඟේ කෑල්ලක් තරමටම සමීප දෙයක් වුණා. අඩුම තරමෙ ලේන්සුවක්වත් බැඳගෙන හරි නහය කට වහගන්න මිනිස්සු පෙළඹුණා. ඒ නිසා ඒක පොදු දෙයක් වුණු සමාජ වටපිටාවටක් හැදුණා. මිනිස්සුන්ට ඒකට හුරුවෙන්න වුණා.

මෙන්න මෙතෙන්දි අපි කලින් කියපු ප්රකාශකයන්ගේ ගණුදෙනු ගැන කිව්ව කතාව ගැන පොඩ්ඩකට හිතල බැලුවොත්, කොරෝනා කාලෙ එන්න කලින් ඒවා කොයි තරම් දුරට අපිට වැටහුනාද? තේරුම්ගන්න උත්සහ කළා ද? ඒ වැටහීම් කොයිතරම් දුරට මානව සම්බන්ධතාවලට අපිට වැදගත් වුණාද? වගේ එන ප්රශ්න ටිකකට එන පිළිතුරු එක්ක මූලික අදහසකට එන්න පුළුවන්.
මේ කතාවෙදි අක්ෂි භාෂාව කියන එක ඉස්සරහට එන්නෙම මාස්ක් එකෙන් එහෙමත් නැත්නම් මුඛාවරණයෙන් ඉතිරි ප්රකාශයන්ගේ ප්රකාශන පරාසය සීමාවෙන හින්දා. ඉතිං මේ මොහොතේ ඇතිවුණ සමාජ වටපිටාව ඒක්ක වෙනදා වගේ නෙමෙයි අපි මනුස්සයෙක් එක්ක කතාබහ කරද්දි අපිට ඒ මනුස්සයගේ ඇස් දිහා බැලෙන අවස්ථාව සෑහෙන ගුණයකින් වැඩියි දැන්. ඒ විතරක් නෙමෙයි ප්රකාශනයේ අව්යාජ ව්යාජ බව අපිට කියවන්න පුළුවන් පරාසය වැඩියි. අනිත් මිනිහගේ සතුට, දුක, වෛරය, උපේක්ෂා සහගත බව, අපෙක්ෂා භංගත්වය වගේ වෛවර්ණ හැඟීම්, ප්රකාශනයන් අපිට තේරුම්ගන්න පුළුවන්. වැඩිය ඕන නෑ මොකක්හරි වැඩකට ගෙදරින් එළියට ගියපු වෙලාවක ටිකක් සැළකිල්ලෙන් තමන්ට මුණ ගැහෙන එක මනුස්සයෙක් දිහා අවධානයෙන් බැලුවොත් එය ඔබට වැටහේවි. ඉතිං හිතල බලන්න අපිට ඒ අවංක ප්රකාශන තේරුම් ගන්න එකට මේ මොහොත කොයිතරම් වැදගත් වුණාද කියලා. මීට කලින් ජීවිතේ වෙනුවෙන් හැල්මේ දුවපු අපිට විකල්ප රහිත අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙන්නෙ ඒකට.


ඉතිං මේ කතාව මට තල්ලු කරන්න ඕන වුණේ අපි ජීවත්වෙන සමස්ත සමාජයේ තියෙන පොදු අර්බුද කිහිපයක් දිහාවට. මේ දවස්වල ඇමරිකා එක්සත් ජනපදය පුරා ලැව් ගින්නක් වගේ පැතිරෙන ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා රැල්ල වගේ සිදුවීම්වලට කාලාන්තරයක් තිස්සේ තුඩු දීපු එරටට පමණක් සීමා නොවුණු වර්ණ භේදවාදී අර්බුදය, පොදුවේ ශ්රී ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් පවා පීඩා විඳින ජනවාර්ගික අර්බුද, ආගමික අන්තවාදී ජාතිවාදී ක්රියාකාරකම්, සරළවම කිව්වොත් තවත් මිනිහෙක්ට හානියක් කරන්න හිතෙන එක, ඊට පදනම් වෙන ඊර්ෂ්යාව, සැකය වගේ සෘණාත්මක ආකල්ප හැම දේකටම හේතුවෙන්නේ අපිට තවත් පුද්ගලයෙක්ව, ඔහුගේ හෝ ඇයගේ අව්යාජ හැඟීම් තේරුම් ගන්නට නොහැකිවීම. ඉතිං පැහැදිලිම ගැටලුව තමයි එකිනෙකාව නොවැටහීම. තියෙන එකම විසඳුම අනෙකාව තේරුම් ගැනීම, ඔවුන්ගේ අභ්යන්තරය පිළිඹිබු කරන අක්ෂි භාෂාව වටහා ගැනීම. සරළවම කිව්වොත් ඒ වටහා ගැනීම ඒ තේරුම් ගැනීම මානව සමාජයක ප්රේමයට මඟ පාදාවි. අපි විශ්වාස කරමු. එලෙසින් ගොඩනැගෙන "මාස්කීය ප්රේමය"ට මානව සමාජයට පැහැදිලි බලපෑමක් කළ හැකියි කියලා. ඒ විශ්වාසයත් එක්ක අවසානයේ ඔබට කියන්න තියෙන්නෙ.

මාස්ක් පළඳින්න, ඇස් දිහා බලන්න, අකුරු නැතුවත් කියවන්න, ප්රේමයෙන් ඉන්න !

MDN
2020 ජුනි 5 ලියන ලද්දකි