ඒ හුළඟෙ මහා ලොකු හීතලක් තිබුණා
ගිනි මද්දහනෙ වුණත් !
අපි හිටියෙ උස තල් ගහක් යට
උතුරු සළුවෙන් පවන් සල සල
පිපාසාවට බිව්වෙ තල් රා
නාලාගිරි තරම් නොවුණට
ඉන්තේරුවෙන්ම කියතැහැකි
අපේ සිහි විකල් වුණේ
ඒ පංකාදු රා ටිකට නොවන වග
ඔක්කොම කරේ ආං අර හීතල හුළඟ
උතුරු සළුවට බර වැඩි වුණා ඒක
දමනය කර දෙන්ට එකෙක් නැතුවට
දාහක් ඇවිත් එතුවා උතුරු සළු කඩු මිට වටකර
සාධු කිය කිය මහ මඟට පැනගෙන
කෑලි කෙරුවා දෙමළෙන් ලිව්ව බණ පොත
අසා ඒ වග පැලී මැරුණා
පෙම් කවි ලීව හදවත
අට්ටි නොගැසූ පෙට්ටි කඩ අස
සැනෙන් බැදෙනා පිරිමි අත පය
පෙළට සිට ගත් උවැසි ජන ගඟ
තුටින් ඉපිලෙති නැගෙන දුම් දැක
අමාවක වුණු ඒ ඇහැළ මාසෙම අපි
හීන් හුළඟටත් බය වුණා ආයිබොවන්ඩ!
"කඩවුලේ, නී එන්ගේ ඉරුක්කිරායි?"
පොල් ගස් යටත් අපි අඬ අඬා හෙව්වා
MDN
2021 පෙබරවාරි 22 ලියන ලද්දකි.